සීගිරි චිත්‍ර:
ආලකමන්දාවක් යැයි කීමේදී සීගිරි චිත්‍ර ඉතාමත් වැදගත්ය. ක්‍රි.ව. 08 දී චිත්‍ර 502 ක් පැවති බව සඳහන් වුව ද අද දක්නට ඇත්තේ චිත්‍ර 22ක් පමණි. මෙම චිත්‍ර ප්‍රධාන ලෙස බටහිර ගල් පර්වතය දිගේ දක්නට ලැබේ. තවද නයි පෙන ගුහාව, වතුර බක්කි ගල ගුහාව, දැරණියගල ගුහාව හා ශිලා උද්‍යානයේ ගුහාවන්හි දක්නට ලැබේ. චිත්‍ර ඇඳීමේදී තලය සඳහා මී පැණි, හුඹස් මැටි, දහයියා මිශ්‍රණයක් යොදාගෙන තිබේ. වර්ණ සැකසීම සඳහා ගොකටු කිරි, මකුළු මැටි, රණවරා ආදී දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන ඇත. සීගිරි චිත්‍ර වල දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වනුයේ උඩුකය සහිත කාන්තා රූප පමණක් පැවතීමයි. චිත්‍ර නිර්මාණයේදී ශරීර ප්‍රමාණයන්, ඇඳුම් පැලඳුම්, ආභරණ, මල් වට්ටි නිසි පරිමාණුකූලව දක්වා තිබීම කලාකරුගේ නිර්මාණ කුසලතාව පෙන්වයි.
සීගිරි චිත්‍ර පිළිබඳව උගතුන් අතර විවිධ මත ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් මහතාගේ මතය වූයේ සීගිරිය ආසන්නයේ පිදුරංගල විහාර වන්දනයට යන අන්ත:පුර කතුන් හා සේවිකාවන් බවයි. එහි සිටින කහ පාට වර්ණවත් කතුන් අන්ත:පුර කතුන් බවද අඳුරු පැහැ කතුන් සේවිකාවන් බවද දක්වයි. උඩුකය පමණක් තිබීමත් වළාකුළෙන් මතුවන සේ තිබීමත් නිසා ඒ දිව්‍ය ස්ත්‍රීන් බව ආනන්ද කුමාරස්වාමි මහතාගේ අදහසයි. මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ අදහස එය දිය කෙළියක් බවයි.
" රජුගේ ඇතොරෙන් අපි නොයෙමුයි
ඔවුහු හගුමින් සිටිති "යන කුරුටු ගීයට අනුව සිය වල්ලභයාගේ මරණයෙන් ශෝක වන අන්ත:පුර කතුන් බව නන්දදේව විජේසේකර මහතා පවසයි. සෙනරත් පරණවිතාන මහතා පවසනුයේ රන්වන් කතුන් තුළින් විජ්ජුලතා හෙවත් විදුලිය ද නිල්වන් කතුන් තුළින් මේඝලතා හෙවත් මේඝය ද නිරූපණය වන බවයි. ඒ අනුව සීගිරියේ ඉතාමත් විචිත්‍රවත් අංගයක් ලෙස සීගිරි චිත්‍ර වැදගත්ය.
කැඩපත් පවුර හා කුරුටු ගී:
සීගිරි කුරුටු ගී මිලකළ නොහැකි ජාතික දායාදයක් වන අතර, සීගිරිය නැරඹූ භික්ෂූන්, කරණවෑමියන්, මැති ඇමතිවරු, සාමාන්‍ය ජනතාව ආදී සමාජයේ විවිධ තරාතිරමේ පුද්ගලයන් විසින් ලියන ලද කුරුටු ගී සීගිරි කැඩපත් පවුරින් හමුවී තිබේ. ඔවුහු සීගිරි කතුන්ගේ රූ සපුව වර්ණනා කලහ. ඔවුන්ගේ ආදරය පැතූහ. එසේම දෝශාරෝපණය කළ කාව්‍ය සංකල්පද හමුවේ.
" පුන් පියවුරු බල දරණ ලී ලෝජන මෙවුල් දමින් සැරසුන
මේ මනරම් ලලනාවෝ කවරහුද? "
" නිල් කට්රොල් මලක ඇවුණු වැට්කොල් මල් සෙයි "
ලෙස කතුන්ව උපමා කලහ. තවද කොමඩු ගෙඩියක එන අංගෝපාංගයන්ට ද සීගිරි කතුන් සමාන කලහ. ඒ අනුව බලන විට සීගිරිය සතුරන්ගෙන් ආරක්ෂා වීමට තැනූ බලකොටුවක්, කුවේරයා මෙන් විසීමට තැනූ දෙවන ආලකමන්දාවක් මෙන්ම නාගරික සංකීර්ණයක් ලෙසද වැදගත් වන බව පැහැදිලිය.
සීගිරි ගී වල වැදගත්කම:
මෙරට පැවති සමෘදිමත් හා උසස් සභ්‍යත්වයක් පැවති අනුරාධපුර යුගයට අයත් සම්භාව්‍ය සාහිත්‍ය හා භාෂාව පිළිබඳ තොරතුරු ලබාගත හැකි මූලාශ්‍රයක් ලෙස සීගිරි ගී වැදගත් වේ.
පසුකාලීනව ඇතිවන විවිධ වසංගත, සතුරු ආක්‍රමණ ආදිය නිසා මේ යුගයට අයත් බොහෝ සාහිත්‍ය ග්‍රන්ථ අභාවයට පත් වී ඇති බැවින් සීගිරි ගී අනුරාධපුර යුගයට අයත් වැදගත් සාහිත්‍ය මූලාශ්‍රයකි.
- සීගිරි ගී බහු කතෘක මූලාශ්‍රයකි. එම ගී නිර්මාණය වන්නේ සීගිරිය නැරඹීමට පැමිණි පොදු ජනයා අතින් නිසා සීගිරි ගී මඟින් නිරූපණය වන්නේ එකළ පැවති පොදුජන රුචිකත්වයයි.
- මෙතෙක් වූ ආගමික සංස්කෘතියෙන් බැහැර වූ කෘතියක් වීම තුළදී වස්තු විෂය තීරණය වීමේදී ආගමික සාහිත්‍ය සම්භාව්‍ය බලපෑමක් තිබූ මුත් සීගිරි කාව්‍ය සම්ප්‍රධාය එම ආකෘතියෙන් බැහැර වූවකි.
සීගිරියේ වාස්තු විද්‍යාව:
සීගිරියේ වාස්තු විද්‍යාව ගැන සලකා බැලීමේදී එය අරමුණු කීපයක් ඔස්සේ හසුරවනු ලැබූ ආකාරයක් දක්නට ලැබේ. මෙහිදී ආරක්ෂාව පිළිබඳව වඩාත් සැළකිළිමත් වූ බව පෙනේ. එසේම කලාත්මක බව හා එහි පිහිටීම පිළිබඳවද උනන්දු වී තිබේ. මහාවංශය සඳහන් කරන ආකාරයට කාශ්‍යප රජු සීගිරිය සිය රාජධානිය කරගත් පසුව නොයෙක් කර්මාන්ත ආදිය කොට එය සුදුසු ආකාරයට සකස් කරගත් බව කියවේ.
වාස්තු විද්‍යාවේ නිර්මාණකරණය
- නාගරික සැලසුම්කරණය:
සීගිරියේ බිම් සැලසුම:
- නගරය වටා ප්‍රාකාර සහ දිය අඟල් නිර්මාණය කිරීම.
- දොරටු නිර්මාණය.
- පාරිසරික සම්බන්ධතාවය.
- ලෙන් නිර්මාණය.
- ගල් භාවිතා කිරීමේ ස්වරූපය (ගඩොල්/හුණුගල/කළුගල්)
- උද්‍යාන සැලසුම්කරණය:
සීගිරියේ උද්‍යාන පිළිබඳ සලකා බලන කළ පැහැදිලි වනුයේ ලොව ඇති පැරණිතම උද්‍යාන වලින් එකක් අතරට මෙයද අයත් වන බවයි. සීගිරි පර්වතයේ බටහිර අර්ධයේ දිය අඟලින් හා පවුරු වලින් වටවූ තැනිතලා බිම්කඩ පුරා දක්නට ලැබෙන්නේ නොයෙක් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වලින් යුතුව නිර්මාණය කර ඇති අලංකාර උද්‍යානයයි. විශේෂයෙන්ම ජල රැදවුම් වලට මුල් තැනක් දෙමින් ඉතා ක්‍රමානුකූලව හා සැලසුම් සහගත අයුරින් නිර්මාණය කර තිබෙන මේ උද්‍යානය වූ කලී, පුරාණ දකුණු ආසියාවේ ඇති උද්‍යාන පිළිබඳව දක්නට ලැබෙන හොඳම නිදර්ශණය සේ සැළකේ.
සීගිරි ගල පාමුල පිහිටි මාලක උද්‍යානය ප්‍රධාන වශයෙන් කොටස් 3 කට බෙදේ.
- ජල උද්‍යානය
- ශිලා උද්‍යානය
- මාලක උද්‍යානය
මෙම උද්‍යාන ක්‍රමවේද 3ම අනුගමනය කරමින් රජ මාළිගා උද්‍යානය නිම කර තිබේ.
- ගොඩනැගිලි සැලසුම්කරණය:
නාගරික සැලසුම් මෙන්ම සීගිරි නගරයේ ගොඩනැගිලි ඉදිකිරීමේ වාස්තු විද්‍යාවද ලාංකීය වාස්තු විද්‍යාවේ කැපී පෙනෙන ලක්ෂණ පෙන්වයි. ප්‍රධාන වශයෙන් විවිධ අමුද්‍රව්‍ය මාධ්‍යයන් ප්‍රයෝජනයට ගනිමින් මෙම නිර්මාණ කර තිබේ. දැනට දක්නට ලැබෙන අවශේෂ වලට අනුව එම මාධ්‍යයන් වන්නේ ගල්, ගඩොල්, දැව හා බදාමය. මින් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ගඩොලුමය නිර්මාණයන්ය. ගොඩනැගිලි සඳහාත් බොහෝ විට ගල් භාවිතා කර ඇති නමුත් ඒවායේ සම්පූර්ණත්වය සඳහා දායක වී ඇත්තේ ගඩොල් හා දැවය.
To be continued......