Sunday, June 9, 2013

ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ලෝක උරුම අඩවි - පුරාතන පොළොන්නරුව (World Heritages in Sri Lanka - Part 1)

ශ්‍රී ලංකාවේ සුවිෂේශ ස්ථාන 8 ක් ජගත් ලෝක උරුමයන් ලෙස යුනෙස්කෝ (UNESCO) ආයතනය විසින් නම් කොට ඇත. නාමිකව ගත් කළ පුරාතන පොළොන්නරුව (1982) , අභීත සීගිරි නගරය (1982) , රන්ගිරි දඹුලු විහාරය (1991) , පුරාතන ගාලු නගරය හා එහි ආරක්ෂාව සැපයීමේ ක්‍රමෝපායන් (1988) , පූජනීය අනුරාධපුර නගරය (1982) , පූජනීය මහනුවර නගරය (1988) , සිංහරාජ වන රක්ෂිතය (1988) හා ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම් (2010) ජගත් ලෝක උරුමයන් ලෙස ප්‍රකාශයට පත්ව ඇත.

පොළොන්නරුව:



ශ්‍රී ලංකාවේ රාජධානීන් අතරින් දෙවැනි පැරණි රාජධානිය වනුයේ පොළොන්නරුව රාජධානියයි. පළමුවන විජයබාහු රජතුමා ක්‍රි.ව. 1070 දී චෝල ආක්‍රමණිකයින් පලවා හැරීමෙන් පසුව පොලොන්නරු රාජධානිය තම පාලනයට නතු කොට ගෙන එක්සේසත් කළේය. පළමුවන විජයබාහු රජුගේ රාජ්‍යත්වයත් සමඟම සිදුවූ අධිරාජ්‍ය වෙනස් වීම් හේතුවෙන් පොළොන්නරුව සුවිෂේශී බවක් උසුලයි. පොළොන්නරුව එක්සේසත් කළ කතා නායකයා වනුයේ විජයබාහු රජුගේ මුණුබුරා වූ පළවෙනි පරාක්‍රමබාහු රජතුමායි. චෝල අධිරාජ්‍යයන්ගේ කෙටි පාලන සමය තුළ පොළොන්නරු නගරය ජනන්තමංගලම් ලෙස ද හැඳින්වීය.

කෙසේ වුවද පළවෙනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව රජ වූ නිශ්ශංකමල්ල රජතුමාට ඇති විරුද්ධත්වය මත අනෙකුත් සියලු අභ්‍යන්තර පාලකයින් තුළ රාජ්‍ය පාලනයට තිබූ කැමැත්ත ක්‍රමයෙන් ගිලිහී යන්නට විය. මෙය හේතු කොට ගෙන නිශ්ශංකමල්ල රාජ්‍ය පාලනයට විරුද්ධව සටන් ඇවිලීමට පටන් ගැනිණ. මෙසේ රජුට විරුද්ධව කැරළි ඇති වෙද්දී අනෙකුත් පාලකයන් විසින් දකුණු ඉන්දියානු ප්‍රබල රාජ්‍යයන් සමඟ සීමා රහිත විවාහ සම්බන්ධතා ඇති කර ගත්තේය. එය හේතු කොට ගෙන ශ්‍රී ලාංකීය රජ පෙළපත අභාවයට යාමට පටන් ගත් අතර කාලිංග මාඝ වර්ෂ 1214 දී පොළොන්නරුව රාජධානිය ආක්‍රමණය කළේය. අවසාන වරට පොළොන්නරුව රාජධානිය ආක්‍රමණයකට නතු වුයේ වර්ෂ 1284 දී පාන්ඩ්‍යය රජ පෙළපතකට උරුමකම් කියූ ආර්ය චක්‍රවර්තී නම් රජුගෙනි. ඉන්පසුව ලංකාවේ අගනුවර ලෙසට දඹදෙණිය පත් විය. 
වර්තමානයේදී දක්නට ඇති අතීත පොළොන්නරුව නගරයේ පුරාවිද්‍යාත්මක ස්ථාන ලාංකීය රජ දරුවන්ගේ විශිෂ්ටත්වය හා ශික්ෂණය මනාව පිළිඹිබු කරයි.

පොළොන්නරුව පිහිටීමේ වැදගත්කම:
අනුරාධපුරය අගනුවර කරගත් පාලකයන්ට උපකාරක නගරයක්යුද්ධමය වශයෙන් ආරක්ෂිත කලාපයක් සහ සේනා සංවිධානය කොට කඳවුරු පිහිටුවවීමට සුදුසු පෙදෙසකි.
·  අනුරාධපුරය හා රෝහන දේශය අතර ගමනාගමනය සිදුවු සංධිස්ථානයක් ලෙස
·  ආරක්ෂිත මෙන්ම ස්වයං පෝෂිත වු බලකොටු පෙදෙසක් ලෙස
දෙස් විදෙස් පතල කිර්ති නාමයක් පුරය‍ට ගෙන දුන් අතීත රජවරු සහ රැජිනියෝ සහ ප්‍රාදේශිය නායකයෝ දහඅට දෙනෙකි. පාලකයන් අතර සමහර පාලකයන් විශිෂ්ඨයෝය. ඇතැම්හු දුර්වලයෝය.ඒ ඒ විශිෂ්ඨත්වය ඔවුන් ලබාගෙන ඇත්තේ ස්වකීය දේශයේ ස්වාධීනත්වය හා උන්නතිය උදෙසා ජීවිතය පරදුවට තබා කැපවීමෙනි. 
පොළොන්නරුව රාජධානිය කරනු ලැබුවේ කාලිංඝ මාඝ විසිනි. මේ පාලක පාලිකාවන් සියල්ලන්ගේම යහපත් හෝ අයහපත් පාලන තන්ත්‍රයෙහි මතකයන් පොළොන්නරු පුරය හා තදාසන්න ප්‍රදේශවල ඉතිරිව ඇතත් වඩාත් වැදගත් ‍‍‍ඓතිහාසික මෙහෙවරක් කල රජුන් දෙදෙනා වන්නේ චෝලයින්ගෙන් රට මුදවාගත් "මහා විජයබාහු රජතුමා" සහ භේද භින්න වූ අභ්‍යන්තර දේශපාලනය ජය ගෙන රට ඵක්සේසත් කල "මහා පරාක්‍රමබාහු රජතුමා" ය. ඓතිහාසික සාධක වලට අනුවසාහිත්‍යයට අනුව, ජනප්‍රවාද වලට අනුව රාජකීය නගරයක් ප්‍රධාන වශයෙන් කො‍ටස් කිහිපයකින් සැදුම් ලද්දක් විය.
  • ඇතුල් නුවර
  • පිට නුවර
  • පි‍ට නුවරින් පිට පෙදෙස් (උප නගර, ජනාවාස,‍ගොවිබිම්)
         පුරාවස්තු:

  •          පරාක්‍රම සමුද්‍රය
  •          පුරාවිද්‍යා කෞතුකාගාරය
  •          ශිව දේවාලය
  •          වටදා ගෙය
  •          හැටදා ගෙය
  •          මැණික් වෙහෙර
  •          ලංකා තිලක
  •          තිවංක පිළිමගෙය
  •          පරාක්‍රම මාලිගාව
  •          නිශ්ශංකමල්ල මාලි‍ගා සංකිර්ණය
  •          නිශ්ශංකලතා මණ්ඩපය
  •          අ‍ටදා ගෙය
  •          සත්මහල් ප්‍රසාදය
  •          රන්කොත් වෙහෙර
  •          කිරිවෙහෙර
  •          පොත්ගුල් වෙහෙර
  •          කුමාර පොකුණ
  •          නෙළුම් පොකුණ
      පොළොන්නරුවේ වැදගත් ස්ථාන කීපයක්:
  •      පොත්ගුල් විහාරය 
උස් වේදිකාවක් මත වෘත්තාකාර ලෙස පිහිටි ගොඩනැගිල්ලකි. දොරටුවෙහි 
ගලින් ඉදිකළ අලංකාර උලුවස්සකි. මළුවේ හතර පැත්තෙහි කුඩා ස්ථූප 4කි. 
පහත මළුව භික්ෂු කුටි වලින් යුක්තය. පළවන පරාක්‍රමබාහු රජු ඉදිකළ 
විහාරයක් බව සෙල්ලිපි වල සඳහන්ය.


  •      ශෛලමය ප්‍රතිමාව 

 මත රාශියකට තුඩු දී ඇති මෙය මහා පරාක්‍රමබාහු රජුගේ හෝ පුලතිසි ඍෂිවරයාගේ පිළි රූ ලෙස ද සැළකේ. සමහර අය කලාකාමී පුද්ගලයෙකුගේ යැයි ප්‍රකාශ කරන්නේ උඩු කයෙහි රජවරුන්ට විශේෂිත හෝ ඍෂිවරුන්ගේ පළඳනාවක් නොමැති බැවිනි. 









  •      පරාක්‍රම සමූද්‍රය 
පළවන පරාක්‍රමබාහු රජ සමයේ විශිෂ්ඨ නිර්මාණයක් වූ පරාක්‍රම සමුද්‍රය   
වැව් කීපයක් ඒකාබද්ධ කිරීමෙන් සකස් කරන ලද්දකි. තෝපා වැව, දුඹුටුලු වැව, එරබඳු වැව ඉන් ප්‍රධානය. මේ ප්‍රදේශයේ තවත් ප්‍රධාන ජලාශ වන්නේ ගිරිතලේ, මින්නේරි, කවුඩුලු හා කන්තලේ යන වැව් ය. අඹන් ගඟ හරස්   කර බඳින ලද වේල්ලක් මඟින් හා ගිරිතලේ වැවෙන් ද පරාක්‍රම සමුද්‍රයට ජලය ලබාගෙන ඇත. පරාක්‍රම සමුද්‍රයේ ජලය නළ මාර්ග මඟින්  ලබා  ගනිමින් පොකුණු රාශියක් ද ඇත. 

  •      පරාක්‍රමබාහු මාළිගය 

වෛජයන්ත ප්‍රාසාදය නමින් ද හැඳින්වේ. ගඩොල් නිර්මාණයක් වූ මෙය මහල් 7 කින් හා කාමර රැසකින් යුත් ගොඩනැඟිල්ලක් බව වංශ කතාවන්හි සඳහන් වේ. මාළිගාවට ඇතුළුවන තැන ඇති ශාලාව රැස්වීම් ශාලාවක් විය හැකිය. බිත්ති ගණකම්ය. මහල් හා වහළ දැවයෙන් නිර්මාණය කර ඇත. මුර භටයින්ටද ගොඩනැඟිලි ඉදිකර ඇත. 



  •      පරාක්‍රමබාහු රාජසභා මණ්ඩපය 
ගල් කැටයම් නිර්මාණයේ සුවිශේෂත්වය පිළිඹිබු කරන ගොඩනැඟිල්ලකි. 
ඇතුළු වන තැන සඳකඩ පහණක් ඇත. මකර රූප සහිත පියගැට පෙළක් ද දර්ශණීය සිංහ රූප ද සහිතය. සඳකඩ පහණ, කොරවක් ගල් රාජ සභාවක් ඉදිරියේ යොදා ඇති විශේෂ අවස්ථාවකි. 


  •      අටදා ගෙය 

        පළවන විජයබාහු රජු ඉදිකරවූ දළදා මන්දිරයයි. උඩු මහලේ දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර තිබූ අතර පහළ මාලය ප්‍රතිමා ගෘහයක් ලෙස භාවිතා වන්නට ඇත. මෙය ආසන්නයේ ඇති සෙල් ලිපියක දළදා වහන්සේ ආරක්ෂා කරගත යුතු ආකාරය දැක්වේ. මේ මන්දිරය ආරක්ෂා කිරීමට වේලක්කාර භටයන් යොදාගත් බව සනාථ වේ.





  •      නිශ්ශංකමල්ල රාජ සභාව 
        රජුගේ ආසනය කලාත්මක සිංහ රූපයකින් යුක්තය. යුව රජු අසුන් ගත යුතු 
කුඩා සිංහාසනය ද මෙහි ඇත.


  •      හැටදා ගෙය 

        දළදා සමිඳුන් සඳහා ඉදිකළ නිර්මාණයකි. නිශ්ශංකමල්ල රජු තමාගේ නිර්මාණයක් ලෙස සෙල් ලිපි වල සඳහන් කරත් පළවන පරාක්‍රමබාහු රජුගේ නිර්මාණයක් ලෙස සැළකේ. මහා පරාක්‍රමබාහු රජු දන්ත ධාතූන් වහන්සේ රුහුණෙන් ලබාගෙන මෙහි තැන්පත් කර දළදා පෙරහැර ද පවත්වා පුද සත්කාර කළ බව වංශ කතා වල කියවේ.



  •      ගල්පොත 
        හැටදා ගෙය අසල ඇති නිශ්ශංකමල්ල රජු කරවන ලද සෙල් ලිපියකි. පොතක පිටුවක ආකාරයෙන් සකස් කර ඇත. මිහින්තලා ප්‍රදේශයෙන් රැගෙන ආ බව කාලිංග වංශිකයන්ට පමණක් රාජ්‍යය හිමිවිය යුතු බව විදේශිකයන් සමඟ වෙළඳ සම්බන්ධතා ගොඩනඟා ගත් ආකාරය මෙහි දැක්වේ. ඇතුන් දෙදෙනෙකු පැන් ඉසින ආකාරය, හංස කැටයම්, ලියවැල් වලින් යුක්තය.

  •      ශිවදේව 

        පොළොන්නරුවේ චෝල පාලනය පැවති අවධියේ දී ඉදිකරන ලද්දකි. දකුණු ඉන්දියානු වාස්තු විද්‍යාත්මක ලත්ෂණ ඉතා හොඳින් නිරූපණය කෙරේ. දේවාලය වටා ගව රූප කීපයක් මැදි කොට ගෙන ශිව දේවාලය සාදා ඇති අතර ශිව ලිංග පූජාවට අදාළ දේවාලද ඇත.

  •      මැණික් වෙහෙර 
        තරමක උසින් යුතු වේදිකාවක් වැනි කොටසක මැණික් වෙහෙර තනා ඇත. හුණු බදාමයෙන් සිංහ රූප කැටයම් කළ උළුවස්ස වැදගත්ය.





  •      ආලහන පිරිවෙන 

        මහා පරාක්‍රමබාහු රජුගේ ශ්‍රේෂ්ඨතම නිර්මාණයක් ලෙස සැළකේ. දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා අධ්‍යාපනය ලැබූ ස්ථානයක් ලෙසද සැලකේ. මැණික් වෙහෙර, රන්කොත් වෙහෙර, බුද්ධසීමා ප්‍රාසාදය, ලංකාතිලක පිළිම ගෙය, ගෝපාල පබ්බතය හා කිරි වෙහෙර ඇතුළු ප්‍රධානස්ථාන කීපයක්ම අයත් වන්නේ මේ ආලහන පිරිවෙන් සංකීර්ණයටය. මේ ගොඩනැඟිලි තනා ඇත්තේද මනාව සකස් කළ එක් එක් උස් මට්ටම් වලින් යුතු බිම් වලය. අනුරාධපුර යුගයේද මේ ප්‍රදේශයේ ජනයා වරදින් මිදී සිටි බව හෙළිවේ. පූජාසන භූමි, ගලින් සාදන ලද වැසිකිළි, රෝහල් දැකිය හැකිය.

  •      ලංකාතිලක ප්‍රතිමා ගෘහය 
        ගඩොලින් නිර්මාණය කර ඇති ප්‍රතිමා ගෘහයක් ලෙස සැළකිය හැක. පළවන 
පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද්දක් වූ මෙහි ඇති බුද්ධ ප්‍රතිමාව අඩි 41 කට වඩා 
වැඩිය. වංශ කතාවන්හි සඳහන් වන්නේ මහල් 5 කින් යුත් එකක් ලෙසය. විවිධ 
ලතාවන්ගෙන්, මලින් හා දේව, බ්‍රහ්ම රූපයන්ගෙන් අලංකාරව කැටයම් කර තිබේ. පිටත 
බිත්ති සාදා ඇත්තේ හුණු මිශ්‍ර බදාමෙනි. විශාල ගඩොල් යොදා ඇත. පවත්නා බිත්ති ද අඩි 
55 කින් පමණ උසය. ඉහළ මාලයන්ට නැගීමට පියගැට පේළි 2 ක්ද  ඇත. වාස්තු විද්‍යාවේ 
සුවිශේෂ නිර්මාණයක් වශයෙන් මෙය සැළකේ. පිළිම  වහන්සේ වන්දනා කිරීම සඳහා 
පැමිණෙන අය පිළිමයට පිටුපසට නොගොස් ආපසු යාමක් නැත.

  •      බුද්ධ සීමා ප්‍රාසාදය
 භික්ෂූන් වහන්සේලාගේ විනයකර සිදුකිරීමට යොදාගෙන ඇති පොහොය ගෙයකි. නායක ස්වාමීන් වහන්සේලාට වැඩ සිටීමට උස් ස්ථානයක් සකස් කොට ඇත. ඉහළ මාලයේ පිහිටුවා ඇති සීමා අඟල් අතිශයින් කලාත්මකය. විනය කර්ම සීමාවන්ද දැක්වේ. පොළොන්නරු යුගයට අයත් බිතුසිතුවම් මෙන්ම ජනේල ද මෙහි දැකිය හැකිය. 

  •      ගල් විහාරය (උත්තරාරාමය) 
 මහා පරාක්‍රමබාහු රජතුමා කරවන ලද සුවිශේෂ නිර්මාණයක් වන මෙහි 
ශෛලමය ප්‍රතිමා 4ක් ඇත. 
  1.        ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටින බුද්ධ ප්‍රතිමා
  2.        විද්‍යාදාර ලෙනෙහි සෙල් ලිපියක් ආසන්නයේ ඇති හිටි පිළිමය
  3.        ගිරාසන ඉරියව්වෙන් යුත් හිඳි පිළිමය
  4.        සැතපෙන පිළිමය
        විද්‍යාදාර ලෙන සමීපයේ ඇත්තේ පොළොන්නරු කතිකාවත නම් සෙල් ලිපියයි. සංඝයා වහන්සේලා සඳහා පදනම් වූ නීති ඊට ඇතුළත්ය.

  •      දෙමළ මහා සෑය 
        සම්පූර්ණ නොවූ විශාලතම ස්ථූපයකි. පැවති උස් ස්ථානයක් චෛත්‍යයක් බවට පරිවර්තනය කිරීමට ගත් උත්සාහයක් ලෙසද හඳුන්වා ඇත. දෙමළ සිරකරුවන් යොදවා සකස් කළ එකක් ලෙසද සැළකේ.


     

                                                 
                                                                                                                                      To be continued....
       



5 comments:

  1. ගොඩක් වටින ලිපියක් ඔයාට තවත් ඉදිරියට යන්න ලැබෙන්න කියල මම ප්‍රර්තනා කරනවා.

    ReplyDelete
  2. ගොඩක් වටින ලිපියක් ඔයාට තවත් ඉදිරියට යන්න ලැබෙන්න කියල මම ප්‍රර්තනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අයියේ.... :)

      Delete