Sunday, May 26, 2013

ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය - ඌරු පාලනය (කොටස 4)


ශ්‍රී ලංකාවේ ඌරු පාලනය.
ඌරු ගොවිපළවල් පවත්වාගෙන යාම ශ්‍රී ලංකාවේ මුහුදු බඩ සත්ත්ව පාලන තීරුවේ ප්‍රචලිත වී ඇත. ගම්පහ ප්‍රදේශය ප්‍රමුඛ වන අතර පුත්තලම, කුරුණෑගල, කොළඹ, කළුතර යන දිස්ත්‍රික්ක වලද ඌරන් ඇතිකරනු ලැබේ. මස් ලබා ගැනීම මූලික අරමුණයි. රාජ්‍ය අංශයේ ගොවිපලවල හා පෞද්ගලික ගොවිපලවල ඌරන් ඇති කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ඇති කිරීමට සුදුසු ඌරු වර්ග:

  • ලාජ් වයිට් (Large White) 
බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් ප්‍රදේශයේ සම්භවය සිදු වී ඇත. මොවුන්ගේ ශරීර වර්ණය සුදු ය. සමහර විට ශරීරයේ කළු පැහැති පුල්ලි පිහිටයි. හිස දිගටි හැඩයක් ගනී. කන් අතර ප්‍රදේශය තරමක් පළල්ය. කන් ඍජුව පිහිටයි. බෙල්ල දිගය. පිට කොන්ද දිගය. පුළුල්ය. පාද ඍජුය. වැඩුනු සතෙකු 300-450kg පමණ බරය.

  • ලෑන්ඩ් රේස් (Landrace) 
ඩෙන්මාර්කයේ සම්භවය සිදුවී ඇත. බේකන් නිෂ්පාදනය සඳහා ප්‍රසිද්ධ වර්ගයකි. සුදු පැහැතිය. සිහින් දිගු ශරීරයක් ඇත. පාද කෙටිය. හිස දිගටිය. කන් ඉදිරියට එල්ලා වැටේ. 


  • දේශීය වර්ගය  
සාපේක්ෂව ශරීරය කුඩාය. ශරීරය කළු, සුදු හෝ මිශ්‍ර පැහැයක් ගනිති. හිස කුඩාය. රවුම් ය. සමහර සතුන්ගේ ශක්තිමත් රදනක දත් වැඩී ඇත.


  • ඩියුරොක් (Duroc) 
බ්‍රිතාන්‍යයේ මුල් උපත සිදු වී ඇත. රතු දුඹුරු හෝ රත්රන් දුඹුරු පැහැ ගනී. වැඩි පැටවුන් ගණනක් එක් පැටවු තලයක ඇත. මාතෘ ගුණය හොඳින් ඇති සතෙකි. ආහාර පරිවර්තන කාර්යක්ෂමතාව වැඩිය. මස් සඳහා සුදුසු වර්ගයකි. පරිණත පිරිමි සතෙකු 400kg ද ගැහැණු සතෙකු 350kg ද පමණ බරය.  





                                                                                                                         To be continued..... 

Friday, May 24, 2013

ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය - කුකුළු පාලනය (කොටස 3)


ශ්‍රී ලංකාවේ කුකුළු පාලනය.

  • වයඹ පළාතේ පුත්තලම, කුරුණෑගල සහ බස්නාහිර පළාතේ කළුතර යන දිස්ත්‍රික්ක වලින් ආවරණය වන කුකුළු පාලන බිම් තීරුව (Poultry belt) තුළ කුකුළු පාලනය ප්‍රධාන වශයෙන් ව්‍යාප්තව පවතී.
  • මහනුවර, මාතලේ, ගම්පහ, කොළඹ, හම්බන්තොට දිස්ත්‍රික්ක වලද කුකුළු පාලනය සිදු කෙරේ.
  • මෑතක සිට කුකුළන් ඇති කිරීම වානිජ මට්ටමින් වර්ධනය වී ඇත. පෞද්ගලික අංශය මෙහිදී ප්‍රමුඛත්වයක් ගනී. ප්‍රාග්ධන සූක්ෂම අභිජනන ගොවිපලවල්, කුකුළු කෑම නිෂ්පාදනාගාර, මස් පිණිස කුකුළන් ඇති කිරීම, බිත්තර නිෂ්පාදනය සඳහා සූක්ෂම විධි භාවිතා කිරීම දක්නට ලැබේ. 
  • කුකුළු ගොවිපල වෙළඳ කුටි නොහොත් ෆාම් ෂොප්, සිල්ලර අලෙවි වෙළඳ සැල් රට පුරා ආරම්භ වීමෙන් රැකියා අවස්ථා සැලසේ. 
ශ්‍රී ලංකාවට සුදුසු කුකුළු වර්ග:
වර්තමානයේ ශ්‍රී ලංකාවේ බිත්තර නිෂ්පාදනය සහ මස් නිෂ්පාදනය සඳහා බහුලව ඇති කරනු ලබන්නේ දෙමුහුම් කුකුළු වර්ගය. 
  • දුඹුරු බිත්තර සඳහා - ගෝල්ඩන් කොමට්, ෂේවර් (දුඹුරු)
  • සුදු බිත්තර සඳහා - හයිසෙක්ස් (සුදු), ෂේවර් (සුදු)
  • මස් සඳහා (broiler) - හර්බඩ්, හයිබ්‍රෝ, ලෝමාන් 
නමුත් මුල් කාලයේදී ඉහත කාර්යයන් සඳහා නුමුහුම් කුකුළු වර්ග භාවිත කරන ලදී. එම කුකුළු වර්ග වල ලක්ෂණ පහත දැක්වේ.

බ්‍රිතාන්‍ය වර්ග:
  • සසෙක්ස් (Suuuex) 
වසර 250 කට පමණ පෙර බ්‍රිතාන්‍යයේ දියුණු වූ වර්ගයකි. දිගු ශරීරයක්, පුළුල් උරහිස් සහිත ගැඹුරු දේහයක් ඇත. මස් ලබා ගැනිම සඳහා සුදුසු ය. ද්විකාර්ය වර්ගයකි. තනි කරමල සහිතය. කෙණ්ඩා හා ඇඟිලි වර්ණවත්ය. බිත්තර කටුවේ පැහැය සුදුය. පිරිමි සතෙකු 4kg ද ගැහැණු සතෙකු 3kg ද බරය. ලයිට් සසෙක්ස් හා රෙඩ් සසෙක්ස් ලෙස මාදිලි කීපයක් ඇත. 

  • ඔස්ට්‍රලොප් (Australorp) 
ඔස්ට්‍රේලියාවේ දියුණු වූ බිත්තර ලබා ගැනීමට සුදුසු ද්වි කාර්ය වර්ගයකි. පිටකොන්ද දිගය, ඉදිරියේ සිට පිටුපසට ඇලව පිහිටයි. පිහාටු තදින් ශරීරයට බැඳී ඇත. තනි කරමල සහිතය. ශරීර වර්ණය කළු පැහැතිය. බිත්තර කටුව දුඹුරු පැහැතිය. 




ඇමරිකන් වර්ග:
  • ආර්. අයි. ආර්. (R.I.R.) 
වසර 150 කට පමණ පෙර දෙමුහුම් කර සාදා ගන්නා ලද වර්ගයකි. දිගු චතුරස්‍රාකාර පුළුල් හා ගැඹුරු දේහයක් ඇත. බහුල පැහැය රතු- දුඹුරු වන අතර කළු හා සුදු ප්‍රධාන මාදිලි අතර වේ. තනි කරමල හා රෝස කරමල වෙන් ව පිහිටයි. කෙණ්ඩා හා සම කහ පැහැතිය. කන් පෙති රතුය. බිත්තර කටුව දුඹුරුය. වැඩුණු කුකුළෙකු 4kg ද කිකිළිය 3kg ද බරය. 



  • නිව් හැම්ප්ෂයර් (New Hampshire) 
ද්වි කාර්ය වර්ගයකි. බිත්තර විශාලය. බිත්තර කටුව දුඹුරු පැහැතිය. ශරීරය කළු හා රතු මිශ්‍ර පැහැයෙන් යුක්තය. කුකුළා 3.8kg ද කිකිළිය 2.7kg ද බරය.




ආසියාතික වර්ග:
  • බ්‍රහ්මා (Brahma) 
ඉන්දියාවේ සම්භවය වූ වර්ගයකි. ලා පැහැතිය. පී කරමලය දරයි. මස් සඳහා සුදුසු වර්ගයකි. වැඩුණු කුකුළා 4.5kg ද කිකිළිය 3.8kg ද බරය.





  • කොචින් (Cochin) 
චීනයේ ෂැන්හයි ප්‍රදේශයේ සම්භවය සිදුවී ඇත. ලිහිල් පිහාටු වලින් යුක්තය. එබැවින් තරමක් විශාල පෙනුමක් ඇත. තනි කරමල සහිතය. පැහැය අනුව වර්ග රැසක් ඇත. වැඩුණු කුකුළා 4.4kg ද කිකිළිය 3.7kg ද බරය. 



මධ්‍යධරණී වර්ග:
  • ලෙගෝන් (Leghorn) 
බිත්තර නිෂ්පාදනය සඳහා ප්‍රසිද්ධ සැහැල්ලු වර්ගයකි. ඉතාලියේ සම්භවය සිදු වී ඇත. ප්‍රභේද 12 ක් පමණ ඇත. පැහැය අනුව ඒවා හැඳින්වේ. බ්‍රවුන් ලෙගෝන් හා වයිට් ලෙගෝන් ජනප්‍රිය වර්ග 2කි. බිත්තර කටුව සුදු පැහැතිය. වැඩුනු කුකුළෙකු 3.3kg ද කිකිළිය 2.7kg ද බර ය. 







                                                                                                                      To be continued...............

Sunday, May 19, 2013

ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය - ගව පාලනය (කොටස 2)


ශ්‍රී ලංකාවේ ගව පාලනය.

  • එළ හා මී ගවයින්ගෙන් 70%ක් පමණ වියළි කලාපයේත්, 30%ක් තෙත් කලාපයේත් ව්‍යාප්ත වී ඇත. 2000 පශු සංගනණයට අනුව ගවයින් මිලියන 1.5 ක්ද මී හරකුන් මිලියන 0.7 ක්ද වූ බව සඳහන් වේ.
  • මී හරකුන් හා එළ ගවයින් සී සෑම, ගොයම් පෑගීම, බර ඇඳගෙන යාම වැනි කටයුතු සඳහා ගොවීන්ට උදව් වන අතර කිරි නිෂ්පාදනයටද දායක වේ.
  • වර්තමානයේ කිරි නිෂ්පාදන කලාප ගණනාවක් ඇත. එනම් කඳුරට, මැදරට, පොල් ත්‍රිකෝණය, වියළි කලාපය, යාපනය අර්ධද්වීපය හා අන්තර් කලාපය යනුවෙනි. මෙම ප්‍රදේශ වල ජීවත් වන කිරි ගොවීන් මුහුණ දෙන ගැටළු මඟහරවා ඔවුන් දිරිමත් කිරීම සඳහා කිරි ගොවීන් සවිබල ගැන්වීමේ නියමු ව්‍යාපෘතියක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආරම්භ කරන ලදී. ඊට අමතරව මහනුවර, නුවරඑළිය, මාතලේ, බදුල්ල, රත්නපුරය, අනුරාධපුරය, කෑගල්ල, ගම්පහ, පුත්තලම, මාතර,අම්පාර, හම්බන්තොට, මොණරාගල හා ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්ක වලත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. 
  • කිරිවලින් කිරි පිටි, කල් කිරි, යෝගට්, මුදවාපු කිරි, වෙඬරු, කේජු ආදිය නිපදවයි.
  • හරක් මස් සඳහාම ගවයින් ඇති කිරීම නොකළද මස් පිණිස ගවයින් විකිණීම සිදුවේ. ආගමික සමාජීය සංවිධාන වලින් කරනු ලබන දැනුවත් වීම මත වර්තමානයේ ගව මස් සඳහා ඇති ඉල්ලුම අඩු වීමක් දක්නට ලැබේ.
ශ්‍රී ලංකාවේ ඇති කිරීමට සුදුසු ගව වර්ග හා ඒවායේ ලක්ෂණ:

යුරෝපීය ගව වර්ග

  • ප්‍රීෂියන් (Fresian) 
මුල් උපත නෙදර්ලන්තයයි. ශරීර වර්ණය කළු හෝ කළු සුදු පුල්ලි සහිතය. යුරෝපීය වර්ග අතරින් විශාලම වර්ගයයි. කිරි නිෂ්පාදනයෙහි දක්ෂය. සිසිල් ප්‍රදේශ වලට ඉතා යෝග්‍යය. කිරි මුරයකදී කිරි ලීටර් 6000-7000 ප්‍රමාණයක් ලබා දෙයි. මේද ප්‍රතිශතය 4% කි. පිරිමි සතෙකු 800-900kg ද ගැහැණු සතෙකු 550-650kg ද බරය. දේශීය සතුන් සමඟ දෙමුහුම් කිරීමෙන් උසස් ප්‍රතිඵල ලබාගත හැකිය.


  • අයර්ෂයර් (Ayrshire)
මුල් උපත බ්‍රිතාන්‍යයේ අයර්ෂයර් ප්‍රදේශයයි. ශරීර වර්ණය රතු හෝ දුඹුරු පුල්ලි සහිතය. අං දිගය. ශක්තිමත් පිරුණු බුරුල්ලක් ඇත. උලා කෑමෙහි දක්ෂය. කිරි මුරයකදී කිරි ලීටර් 5500-6000 නිපදවයි. වැඩුණු පිරිමි සතෙකු 700-800kg ද ගැහැණු සතෙකු 500-600kg ද බරය. මැදරට හා උඩරට ප්‍රදේශ වලට ඉතා යෝග්‍යය.

  • ජර්සි (Jersey) 
මුල් උපත බ්‍රිතාන්‍යයේ ජර්සි දූපත් වලය. වර්ණය අළු පැහැයේ සිට දුඹුරු පැහැය දක්වා වෙනස් වේ. සමහරවිට ලා කහ වර්ණයේ සිට තඹ පැහැය දක්වා වෙනස් වේ. ඇස් වටය හා දණහිස තද පැහැයක් ගනී. ශරීරය ත්‍රිකෝණාකාරයි. අං ඉදිරියට නැවී ඇත. උණුසුම් ප්‍රදේශ වලට ඔරොත්තු දෙයි. පහතරට තෙත් කලාපය හා පොල් ත්‍රිකෝණය සඳහා දේශීය හා ඉන්දීය වර්ග සමඟ දෙමුහුම් කර ඇති කිරීමට සුදුසුය. මුරයකදී කිරි ලීටර් 4500 පමණ ලබාදෙයි. කිරිවල මේද ප්‍රතිශතය 4.5% - 5.4% වේ. පිරිමි සතා 600-700kg ද ගැහැණු සතා 400-500kg ද පමණ බර වේ.

ඉන්දීය ගව වර්ග

  • රතු සින්දි (Red Sindhi)
තද රතු හෝ දුඹුරු පැහැ ශරීරයක් ඇත. නිජ බිම පකිස්ථානයයි. විශාල තැල්ලක් හා ලිහිල් සමක් ඇත. කන් විශාලය. උණුසුම් ප්‍රදේශ වලට ඔරොත්තු දේ. පහතරට තෙත් හා වියළි කලාප වලට සුදුසුය. යුරෝපීය ගව වර්ග සමඟ දෙමුහුම් කිරීමෙන් උසස් කළ හැකිය. මුරයකදී කිරි ලීටර 2000ක් පමණ ලැබේ. කිරිවල මේද ප්‍රතිශතය 4.5% - 4.9% වේ. පිරිමි සතා 450-550kg ද ගැහැණු සතා 400-500kg ද පමණ බරය.

  • සහිවාල් (Sahiwal)
ලා රතු සිට තද දුඹුරු පැහැය දක්වා වෙනස් වේ. පංජාබ් ප්‍රදේශයේ මුල් උපත ඇති විය. වලිගය දිගය. තැල්ල හා මොල්ලිය විශාලය. වියළි ප්‍රදේශ වලට යෝග්‍ය වේ. කිරි වල මේද ප්‍රතිශතය 4%-5% ක් වේ. එක් කිරි මුරයකදී කිරි ලීටර් 2000ක් පමණ නිපදවයි. පිරිමි සතා 500-600kg ද ගැහැණු සතා 400-500kg ද පමණ බරය.


  • තර්පකාර් (Tharparkar) 
මුල් උපත හයිද්‍රබාද් ප්‍රදේශයේය. වර්ණය සුදු හෝ අළු වේ. පාද කෙටිය. ශරීරය ගැඹුරුය. නළල පුළුල්ය. අං මධ්‍යම ප්‍රමාණ වේ. කටුක පරිසරයට ඔරොත්තු දේ. මුරයකදී කිරි ලීටර 2000 ක් පමණ ලැබේ. මේද ප්‍රතිශතය 4%-5% කි. පිරිමි සත්තු බර ඇඳීමෙහි දක්ෂය. පිරිමි සතෙකු 500-600kg ද ගැහැණු සතෙකු 400-450kg ද පමණ බරය.


දේශීය ගවයින් (බටු හරක්)

 ශරීර ප්‍රමාණයෙන් කුඩාය. ශරීරය සුදු, කළු, දුඹුරු හෝ මිශ්‍ර පැහැ වලින් යුක්තය. වියළි කලාපයේ විල්ලු ආශ්‍රිතව නිදැල්ලේ ඇති කෙරෙයි. මුරයකදී කිරි ලීටර 600-800 ක් පමණ ලැබේ. වැඩුනු පිරිමි සතෙකු 300-400kg ද ගැහැණු සතෙකු 250-300kg ද පමණ බරය.




මී ගව වර්ග
ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය සඳහා ඇති කරනු ලබන්නේ ඉන්දීය සම්භවයක් සහිත මී ගව වර්ගය.

  • මූරා (Murrah)
පන්ජාබ් හා දිල්ලි යන ප්‍රදේශවල මුල් උපත සිදුවූ වර්ගයකි. තද කළු පැහැයක් ගන්නා හොදින් සැකසුනු දේහයක් සහිතය. රැළි ගැසුණු අං කෙටිය. පසුපසට, උඩට හා ඉදිරියට නැවී ඇත. කිරි නිපදවීමෙහි දක්ෂය. මුරයකදී කිරි ලීටර 2000-2500 ක් නිපදවයි. කිරිවල මේද ප්‍රතිශතය 7% කි. පිරිමි සතා 600-700kg ද ගැහැණු සතා 500-600kg ද පමණ බරය.


  • සූර්ති (Surthi) 
පන්ජාබයේ සූර්ති ප්‍රදේශයේ මුල් උපත සිදුවී ඇත. දුඹුරු පැහැ කළු වර්ණයක් ඇත. අං දෑ කැත්තක හැඩය ගනී. මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් ඇත. මුරයකදී කිරි ලීටර 2000 ක ප්‍රමාණයක් ලැබේ. කිරිවල මේද ප්‍රතිශතය 7.9% කි. පිරිමි සතා 550-600kg ද ගැහැණු සතා 400-500kg ද පමණ බරය. 




  • නිලිරවි (Nili Ravi)
සම්භවය ඉන්දියාවේ හා පකිස්ථානයේය. වර්ග 2ක් ලෙස සම්භවය සිදු වූවත් දැන් එකම වර්ගයක් ලෙස සැලකේ. මධ්‍යම ප්‍රමාණයේ ගැඹුරු ශරීරයක් ඇත. අං දඟර ගැසී ඇත. බුරුල්ල හොදින් වර්ධනය වී ඇත. වලිගය දිගය. බිම ගෑවේ. ශරීරය කළු හෝ දුඹුරු පැහැතිය. නළලේ හා පාද කෙළවර සුදු පැහැතිය. මුරයකදී කිරි ලීටර 2000 ක් පමණ ලැබේ. මේද ප්‍රතිශතය 7.8% කි. පිරිමි සතා 600-700kg ද ගැහැණු සතා 450-550kg ද පමණ බරවේ. 


දේශීය මී ගවයා
ශ්‍රී ලංකාවේ කුළු හරකුන් ලෙස වනාන්තර වල රංචු වශයෙන් ජීවත් වේ. ඉතාම ප්‍රචණ්ඩකාරීය. හීලෑ කරගත් පසු වී වගාවේ සී සෑම් හා වෙනත් කටයුතු සඳහා යොදා ගත හැකිය. ශරීරය කළු හෝ දුඹුරු වර්ණයක් ගනී. අං හොදින් වැඩී ඇත. තියුණු ය. කිරි නිපදවීම ඉතා ස්වල්පයකි.
 




                                                                                                                                 To be continued....

Wednesday, May 15, 2013

ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය. (කොටස 1)


ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය.
අතීතයේ සිටම සත්ත්ව පාලනය ශ්‍රී ලාංකිකයන්ගේ වැදගත් කෘෂිකාර්මික කටයුත්තක් විය. මී ගවයින් හා එළ ගවයින් ඇති කිරීම එහි ලා ප්‍රමුඛත්වයක් ගත්තේය. මේ වන විට ඌරන්, එළුවන්, බැටළුවන් හා කුකුලන් ඇති කිරීම සත්ත්ව පාලන ක්ෂේත්‍රෙයහි වැදගත් තැනක් හිමි කරගෙන ඇත.
දැනට බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් විසින් විශේෂීකරණය වූ සත්ත්ව ගොවිපළ සාර්ථකව පවත්වා ගැනේ.
ප්‍රධාන සත්ත්ව නිෂ්පාදන අතර කිරි, මස්, බිත්තර වැදගත් තැනක් ගනී.
ශ්‍රී ලංකාවේ වර්තමාන කිරි නිෂ්පාදනය මඟින් සපුරාලිය හැක්කේ දේශීය කිරි අවශ්‍යතාවෙන් 15% ක් වැනි සුළු ප්‍රමාණයක් පමණි. වාර්ශිකව විශාල විනිමයක් වැය කර ඉතිරි අවශ්‍යතාව විදේශ රටවලින් ආනයනය කරනු ලබයි. දියුණු රටවල් හා සසඳා බලන විට ශ්‍රී ලාංකිකයින්ගේ සත්ත්ව නිෂ්පාදන පරිබෝජනය ඇත්තේ පහළ මට්ටමකය.

ශ්‍රී ලංකාවේ සත්ත්ව නිෂ්පාදනයේ ඇති වැදගත්කම:

  • ජනතාවගේ නිරෝගී පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය සත්ත්ව ප්‍රෝටීන ලබා දෙන ප්‍රධාන ප්‍රබවයයි.
  • රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා සැපයිය හැකි ප්‍රධාන මාර්ගයකි.
  • ශ්‍රී ලංකාවේ ස්වාභාවිකව වැඩෙන තෘණ හා මිනිසාට ඍජුව ආහාරයට ගත නොහැකි කොළ වර්ග පෝෂ්‍යදායී ආහාර බවට පරිවර්තනය කෙරෙන ප්‍රධාන මාර්ගයකි.
  • කෘෂිකාර්මික අතුරු නිෂ්පාදන ඵලදායි ලෙස සත්ත්ව ආහාර වශයෙන් යොදා ගත හැකිවේ.
  • කෘෂිකාර්මික බෝග සමඟ සත්ත්ව පාලනය කිරීමෙන් ආදායම් විවිධාංගීකරණය තුළින් අවධානම අඩුවේ.
  • සත්ත්ව පාලනයේ අතුරු ඵල වන සම්, ඇට, ලෝම, අං ආදිය කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය වශයෙන් යොදාගත හැකි වේ.
  • සතුන්ගේ අතුරණු, මලපහ ආදිය උසස් තත්ත්වයේ කාබනික පොහොර ලෙස භාවිතා කල හැකිවේ.
  • කෘෂි බෝග වගාව සිදුකළ නොහැකි භූමිවල පවා සත්ත්ව පාලනය කළ හැකි වේ.
  • පාසල් යන දරුවන්ගේ හා ගෘහණියන්ගේ ශ්‍රමය සත්ත්ව පාලනය සඳහා ඵලදායී ලෙස යොදා ගැනීම පවුලේ පෝෂණය වර්ධනයට හා අමතර ආදායමක් ලබා ගැනීමට උපකාරී වේ.
ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය සඳහා ඇති විභවය:
  • විවිධ සත්ත්ව වරිග වලට ගැළපෙන විවිධ දේශගුණික කලාප රාශියක් තිබීම.
    • උඩරට ප්‍රදේශ - යුරෝපීය ගව වර්ග
    • වියළි කලාපය - ඉන්දීය ගව වර්ග
    • ශුශ්ක ප්‍රදේශ - එළු පාලනය
    • වෙරළබඩ ප්‍රදේශ - ඌරු පාලනය
    • පොල් ත්‍රිකෝණය - ගව, එළු හා බැටළු පාලනය
    • ජලාශ්‍රිත ප්‍රදේශ - තාරාවන් ඇති කිරීම
  • තෘණ සපයා ගත හැකි ඉඩම් රාශියක් තිබීම. 
    • පොල් වගා
    • ලඳු කැලෑ
    • විල්ලු
    • කුඹුරු වල නියර
  • සත්ත්ව පාලනය සඳහා යොදා ගත හැකි ඉඩම් විශාල ප්‍රමාණයක් තිබීම.
  • රැකියා විරහිත තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් මේ සඳහා යොමු කළ හැකි වීම.
  • සත්ත්ව නිෂ්පාදන සඳහා හොඳ ඉල්ලුමක් මෙන්ම වෙළඳපොලක් තිබීම.
  • සත්ත්ව ආහාර ලෙස යොදා ගත හැකි කෘෂිකාර්මික අතුරු ඵල රාශියක් තිබීම.
    • පොල් පුන්නක්කු
    • මොලෑසස්
    • සහල් නිවුඩු
    • පිදුරු වැනි බෝග අවශේෂ
  • සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු යටතේ ශ්‍රී ලංකාව පුරා පැතිරුණු පශු වෛද්‍ය කාර්යාල පද්ධතියක් තිබීම හා එමඟින් සත්ත්ව පාලන උපදෙස් හා පශු වෛද්‍ය සේවා නොමිලේ සැපයීම.
  • සත්ත්ව පාලනය සඳහා සේවා සපයන රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීම.
බහුල ව ඇති කරනු ලබන සත්ත්ව වර්ග:
  • එළ ගවයින්
  • මී ගවයින්
  • කුකුළන්
  • ඌරන්
  • එළුවන්
ගොවිපළ සතුන් වර්ගීකරණය:
ගොවිපළ සතුන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ගීකරණය කළ හැකිය.
  1. ප්‍රයෝජන (කාර්යය) අනුව 
  2. සම්භවය හෙවත් මුල් උපත අනුව
1. ප්‍රයෝජන (කාර්යය) අනුව ගොවිපළ සතුන් වර්ගීකරණය.
  • ගවයින්
    • කිරි සඳහා
      • ජර්සි
      • ප්‍රිෂියන්
      • අයර්ෂයර්
      • සින්දි
      • සහිවාල්
    • මස් සඳහා
      • හෙරිෆඩ්
      • ඇබර්ඩින් ඇන්ගස්
    • බර ඇදීම සඳහා
      • හරියානා
      • තර්පකාර්
      • කිලාරි
      • කන්ගායම්
  • මී ගවයන්
    • කිරි සඳහා
      • මූරා
      • සූර්ති
      • නිලිරවි
    • කෘෂිකාර්මික කටයුතු සඳහා
      • දේශීය මී ගවයා
  • කුකුළන්
    • බිත්තර සඳහා 
      • ලෙග්හෝන්
      • ෂේවර් (සුදු)
      • හයිසෙක්ස් (සුදු)
    • මස් සඳහා
      • ලෝමාන්
      • හර්බඩ්
      • ෂේවර්
    • ද්වි කාර්ය
      • ගෝල්ඩන් කොමට්
      • ආර්.අයි.ආර්
      • ඔස්ට්‍රලොප්
  • එළුවන්
    • මස් සඳහා
      • බෝයර්
      • කොට්ටුකච්චි
    • කිරි සඳහා
      • සානන්
    • ද්වි කාර්ය
      • ශ්‍රී ලංකා බෝයර්
      • ජම්නපාරි
  • ඌරු වර්ග
    • මස් සඳහා
      • ලාජ් බ්ලැක්
      • ඩියුරොක්
    • බේකන් සඳහා
      • ලෑන්ඩ් රේස්
      • ලාජ් වයිට්
2. සම්භවය අනුව ගොවිපළ සතුන් වර්ගීකරණය.
  • ගවයින්
    • ඉන්දීය
      • සින්දි
      • සහිවාල්
      • තර්පකාර්
    • යුරෝපීය
      • ප්‍රිෂියන්
      • අයර්ෂයර්
      • ජර්සි
    • දේශීය
      • දේශීය (බටු හරක්)
  • මී ගවයින්
    • දේශීය
      • දේශීය මී ගවයා (වගුරු මී ගවයා)
    • විදේශීය
      • මූරා
      • සූර්ති
      • නිලිරවි
  • කුකුළන්
    • ඇමරිකන් වර්ග 
      • ආර්.අයි.ආර්.
      • ප්ලිමත්රොක්
      • නිව්හැම්ප්ෂයර්
    • ඉංග්‍රීසි වර්ග
      • සසෙක්ස්
      • ඔස්ට්‍රලොප්
      • ඕපින්ටන්
    • මධ්‍යධරණී වර්ග
      • ලෙග්හෝන්
      • මිනෝකා
      • ඇන්කෝනා
    • ආසියාතික වර්ග
      • බ්‍රහ්මා
      • කොචින්
  • එළුවන්
    • විදේශීය වර්ග
      • ජම්නපාරි
      • සානන්
      • බෝයර්
    • දේශීය වර්ග
      • කොට්ටුකච්චි
      • ශ්‍රී ලංකා බෝයර්
  • ඌරන්
    • විදේශීය
      • ලාජ්වයිට්
      • ලෑන්ඩ් රේස්
      • ඩියුරොක්
    • දේශීය
      • දේශීය ඌරන් (mini pigs)



                                                                                                                                    To be continued.... 


Monday, May 13, 2013

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය හා මත්ස්‍ය වගාව.


ධීවර කර්මාන්තය හා මත්ස්‍ය වගාව.

ධීවර කර්මාන්තය වැදගත් ආර්ථික කටයුත්තක් වීමට හේතු:
  • ජනතාවගේ පෝෂණ තත්ත්වය නංවාලීම.  
  • සේවා නියුක්තියට ඉඩකඩ ලැබීම.
  • විදේශ විනිමය ඉපයීම.
  • ජාතික නිෂ්පාදනයට වැඩි දායකත්වයක් ලැබීම.
හිතකර භූගෝලීය සාධක:
  • දිවයින වටා පිහිටි වෙරළ තීරය. (වර්ග කිලෝමීටර් 21576 ක් වූ නොගැඹුරු මහාද්වීප තටාකයක් තිබීම) 
  • මත්ස්‍ය ආහාර බහුල වීම. 
  • කඩතොලු සහිත වෙරළක් තිබීම. (ධීවර යාත්‍රා නවතා තැබීමට හා වරාය සඳහා)
  • කඩතොලු වෙරළ ආශ්‍රිත කලපු.
  • ගංඟා, වැව් ආදී රටේ අභ්‍යන්තර ජලාශ වල මිරිදිය මසුන් බෝ කළ හැකි වීම.
ධීවර කර්මාන්තයේ ප්‍රධාන අංශ 2කි.
  1. අභ්‍යන්තර ධීවර කර්මාන්තය (මිරිදිය)
  2. මුහුදු ආශ්‍රිත ධීවර කර්මාන්තය (කරදිය)
1. අභ්‍යන්තර ධීවර කර්මාන්තය (මිරිදිය)
  • රට අභ්‍යන්තරයේ වැව් ආශ්‍රිත කෘතිම ජලාශ වල මාළු ඇතිකිරීම හා ඒ ආශ්‍රිත මසුන් ඇල්ලීම මීට අයත්ය.
  • ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර මධ්‍යස්ථාන වල බෝ කරන මත්ස්‍ය පැටව් දිවයිනේ වැව් වලට මුදා හැරීම සිදු කෙරේ. 
  • ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර මධ්‍යස්ථාන:
    • පදවිය
    • පොළොන්නරුව
    • දඹුල්ල
    • රම්බඩගල්ල 
    • නුවරඑළිය
    • ඉඟිනියාගල 
    • ගිනිගත්හේන
    • බඹරකැලේ
    • බෙරගල
    • පනාපිටිය
    • උඩවලව
    • මුරුතවෙල
  • කරදිය මාළු වලට වඩා මිරිදිය මාළුන්ගේ පෝෂණ ගුණය වැඩියෙන් ඇතැයි යන විශ්වාසය මත මිරිදිය මත්ස්‍ය ඉල්ලුම වැඩි වෙමින් පවතී.
  • අභ්‍යන්තර මත්ස්‍ය නිෂ්පාදනය (මිරිදිය) 2005 වර්ෂයේ මෙට්‍රික් ටොන් 33,000 කි.
  • මිරිදිය මසුන්;
    • ලූලා
    • කනයා
    • පෙතියා
    • හුංගා
    • මඟුරා
2. කරදිය ධීවර කර්මාන්තය.
  • ශ්‍රී ලංකාවට අයත් ආර්ථික මුහුදු සීමාව වෙරළේ සිට 320km පළල්ය. එම කලාපය තුළ ධීවර සම්පත් වල අයිතිය රජයට හිමිවේ.
  • කරදිය ධීවර කර්මාන්තයේ ප්‍රධාන අංශ 2කි. 
  1. මහාද්වීප තටාක හෙවත් වෙරළාසන්න ධීවර කර්මාන්තය.
  2. ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය (වෙරළේ සිට 40km ඈත මුහුද)
i. වෙරළාසන්න ධීවර කර්මාන්තය.
  • කරදිය මත්ස්‍ය නිෂ්පාදනයෙන් 90% පමණ වෙරළාසන්න ධීවර කර්මාන්තයෙන් නිපදවයි. එහි මසුන් බහුල වීමට හේතු රාශියකි.
    • හිරු එළිය හොඳින් මුහුදට වැටෙන නිසා මත්ස්‍යයන්ට අවශ්‍ය සාධක ශාක ප්ලවාංග තිබීම.
    • ගංඟා ඇළ දොළ මඟින් ගෙන එන පෝෂක පදාර්ථ බහුලව තිබීම.
    • දියවැල් ගමන් කිරීම නිසා ජලයෙහි ඇතිවන කැළඹීම හේතුවෙන් මත්ස්‍ය ආහාර ජලය මතුපිටට ඒම.
ii. ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය. 

  • මේ ප්‍රදේශයේ ධීවර සම්පත් රාජ්‍ය අනුග්‍රහය මත ප්‍රයෝජනයට ගැනේ.
  • බහුදින ධීවර යාත්‍රා යෙදවීමෙන් තෝරා, පරා, කෙලවල්ලන්, බලයන් වැනි මසුන් ඇල්ලීම සිදුකෙරේ.
  • වරාය පහසුකම් වැඩි කිරීම, පර්යේෂණ හා පුහුණු කිරීම් මෙන්ම උපකාරක සේවා සැපයීම මඟින් ගැඹුරු මුහුදේ මත්ස්‍ය නිෂ්පාදනයට කටයුතු යොදා ඇත.
ගැටළු:
  • ධීවර කාර්මිකයාගේ අඩු ආදායම හා ණයගැතිභාවය.
  • ධීවර ආම්පන්න හිඟය.
  • නුපුහුණු ශ්‍රමිකයන් යෙදී සිටීම.
  • ඉන්ධන මිළ ඉහළ යාම.
  • දිනෙන් දින අනෙකුත් ධීවර උපකරණ මිළ ඉහළ යාම. (දැල් බෝට්ටු) 
  • වෙනත් රටවල ධීවරයින් අපේ මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම.
  • අවිනිශ්චිත වෙළදපොළ තත්ත්වය.
  • ප්‍රවාහනය හා ගබඩා කිරීම පිළිබඳ ගැටළු.
  • 2006 දී ඇති වූ සුනාමි රළ පහර නිසා ධීවර කර්මාන්තය දැඩි පීඩනයට ලක්වීම.
  • සාම්ප්‍රධායික ක්‍රම භාවිතා කිරීම.
    • විසගෙඩි දැමීම.
    • බිලි බෑම.
    • ඩයිනමයිට් දැමීම.
  • යටිතල පහසුකම් නොමැති වීම. (ධීවර වරාය, ගබඩා පහසුකම්, අයිස් නිෂ්පාදනාගාර, යාත්‍රා අලුත්වැඩියා කිරීමට)
  • ප්‍රාග්ධන හිඟය.
නව ප්‍රවණතා:
  • කිවුල් දිය ආශ්‍රිතව ඉස්සන්, පොකිරිස්සන්, කකුළුවන් වැනි මත්ස්‍ය නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම. (හේතුව විදේශීය රටවල් වල ඉස්සන්ට වැඩි ඉල්ලුමක් තිබීම)
  • ජල ජීවී වගාව (හොඳ පැටවුන් ලබා ගැනීමට)
  • ධීවර නිෂ්පාදන කටයුතු දියුණු කිරීමට ධීවර සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම.
    • කිරින්ද
    • කල්පිටිය
    • ඕලුවිල්
  • වයඹ වෙරළ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම.
    • පුත්තලම
    • කල්පිටිය
  • නැගෙනහිර වෙරළේ ධීවර සංවර්ධන ව්‍යාපෘති වලට ජපන් රජයේ ආධාර ලැබීම.
ගැටළු විසදීමට ගෙන ඇති පියවර: 
  • ණය පහසුකම් පුළුල් කිරීම.
  • ධීවර රක්ෂණ ක්‍රමයක් ඇරඹීම.
  • දියවර ගම්මාන වැඩපිළිවෙළ ආරම්භ කිරීම.
  • ධීවර සමූපකාර සමිති පුළුල් කිරීම.
  • අයිස් නිෂ්පාදනාගාර ඇති කිරීම.
  • ධීවරයන් පුහුණු කිරීමේ ආයතන පිහිටුවීම.
    • මීගමුව
  • ධීවර ආම්පන්න පහසු මිළට සැපයීම.
  • ධීවර පර්යේෂණ ව්‍යාප්ත කිරීම.
  • සාගර විශ්ව විද්‍යාල ඇති කිරීම.



Friday, May 10, 2013

ශ්‍රී ලංකාවේ කුරුඳු වගාව.


ශ්‍රී ලංකාවේ කුරුඳු වගාව.
ලෝකයේ අග්‍රගන්‍යම කුරුඳු ලෙස ශ්‍රී ලංකාවේ කුරුඳු සැකයකින් තොරව හැදින්විය හැක. ලෝක වෙළදපොළට සත්‍ය කුරුඳු සපයනු ලබන්නේ ශ්‍රී ලංකාව විසිනි. ශ්‍රී ලංකාවට ආවේණික වූ ආර්ථිකව වැදගත් බෝගයක් වන්නේ කුරුඳු ය.

කුරුඳු නිවර්තන ශාකයකි. ශුශ්ක දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන විවිධ පාංශු තත්ත්වයන් යටතේ වගා කල හැකි බෝගයකි. ‘සිනමෝමම් වෙරම්‘ යනු වානිජ මට්ටමින් සාදන කුරුඳු වර්ගයකි. තවත් කුරුඳු වර්ග කීපයක්ම ඇත. බීජ මඟින් පමණක්ම බෝ කර ගනී. කුරුඳු වගාවට හිරුඑළිය හොදින් ලැබිය යුතුය. පැකට් කල කුරුඳු පැල 120cm x 120cm පරතරය තුළ වගා කල යුතුවේ.

පොත්තෙහි වර්ණය දුඹුරු පැහැ වී ඇති අවස්ථාව අස්වනු නෙළා ගැනීමට සුදුසු කාලය වේ. නෙළා ගත් කුරුඳු කෝටු වාඩියට ගෙන ගොස් පොතු ඉවත් කිරීම සදහා මතුපිට සුඹුල සූරා පිරිසිදු කර පිත්තල දණ්ඩකින් කෝටුව පිරිමැදීමෙන් ලීයෙන් පොත්ත බුරුල් කෙරේ. ඉන් පසු එක කෙළවරක සිට අනෙක් කෙළවරට පොත්ත දිග අතට පලා පොත්ත හා දණ්ඩ අතරින් පිහි තුඩ යවා දිග අතට පොත්ත ගලවා ගනී. මෙසේ ගලවා ගත් පොතු සාඩි කර සකස් කර කුඩා පොතු කූරු තුළ රුවා කූරු පුරවා මිටි බැඳ මඩු තුළ පවනේ වියළා ගනී. මෙම කුරුඳු මිටියක උස 106.7cm කි. බර 45kg කි.

කුරුඳු ශාකයේ කොටස් වලින් තෙල් වර්ග 4ක් ලබා ගත හැක. පොත්ත, කොළය, ගෙඩි හා මුල් වලින් කුරුඳු තෙල් නිපදවේ. ලෝක වෙළදපොලෙන් 80-90% ක්ම සපයනු ලබන්නේ ශ්‍රී ලංකාවයි. වසරකට කුරුඳු කූරු හා චිප්ස් මෙට්‍රික් ටොන් 10,000 ක් පමණ තෙල් විශාල ප්‍රමාණයක් අපනයනය කරයි.
ශ්‍රී ලංකාව මඟින් අපනයනය කරනු ලබන කුරුඳු වලින් 40-50% ක් පමණ ප්‍රමාණයක් සැමවිටම මිළ දී ගන්නේ මෙක්සිකෝවයි. අනෙකුත් ප්‍රධාන ගැණුම්කරුවන් වන්නේ ලතින් ඇමරිකානු රටවල්, ස්පාඤ්ඤය හා ජර්මනියයි.


Tuesday, May 7, 2013

ශ්‍රී ලංකාවේ කෝපි වගාව.


ශ්‍රී ලංකාවේ කෝපි වගාව.
වර්ෂ 1503 දී අරාබි ජාතිකයන් විසින් කෝපි වගාව මෙරටට හඳුන්වා දී ඇත. නමුත් ඕලන්ද ජාතිකයන් 1658 දී කෝපි වගාව ආරම්භ කරන ලදී. කෝපි වගාව ලාභදායක වගාවකි.

රුබියාගේ කුලයට අයත් කොපියා ගනයේ විශේෂ 60ක් පමණ ඇත. මෙයින් ආර්ථික වැදගත්කමින් යුක්ත විශේෂ නම් කොපියා ඇරබිකා, කොපියා කැනිපෝරා, කොපියා ලයිබේරිකා වේ.

කෝපි අතුරු බෝගයක් ලෙස වගා කල හැක. එසේ නැතිව තනි තනිව වගා කරන්නේ නම් 3*3m වනසේ පඳුරු සහිත කෝපි පැල 1100ක් හෙක්ටයාරයක වගා කල හැක. කොම්පෝස්ට් පොහොර හෝ ගව පොහොර එක්කර රොක් පොස්පේට් 100g ක් එක් වලකට මිශ්‍ර කර වැසි ලැබීම ආරම්භයත් සමඟ පැල සිටුවීම ආරම්භ කල හැක.

සාමාන්‍යයෙන් කෝපි බෝගයේ ඵල හටගැනීම, සිටුවා අවු.2කින් පමණ ආරම්භ වේ. හොඳ පාලන තත්ත්වයක් යටතේ සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකින් 1000-1500kg අතර වේ. නිෂ්පාදිත කෝපි වල ගුණාත්මය අපනයන වෙළදපොල තීරණය කරයි. මේ නිසා පරිණත හොඳ ගෙඩි පමණක් නෙළා ගැනීමෙන් කෝපි වල ගුණාත්මය වැඩි වේ.

කෝපි අස්වනු නෙලීම චාරිත්‍රානුකූලව කල යුතුය. මේ නිසා හොදින් ඉදුනු ගෙඩි පමණක් වේළා ගැනීම කල යුතුය. බාගෙට ඉදුනු හා අමු ගෙඩි නෙලා ගත හොත් ඒවා වෙනම සැකසීම කල යුතුය. ඉදුනු කෝපි ගෙඩි පොතු හැර පියල්ලේ ඇති නානු සහිත පොත්තද ඉවත් කර හොදින් වියළා ගත් කෝපි ඇට බැඳ කුඩුකර ගැනීමෙන් පසු හොදින් උතුරුවා ගත් ජලය සමඟ මිශ්‍ර කර විවිධ රසකාරක සමඟ හෝ තනිව පානයට ඉතාම සුදුසුයි.

කෝපි ඇට හොඳින් වියළා දිගු කලක් ගබඩා කර තැබිය හැක. ඒවාගේම විශිෂ්ඨ ගනයේ අපනයන බෝගයකි.

Sunday, May 5, 2013

ශ්‍රී ලංකාවේ සාදික්කා වගාව.


ශ්‍රී ලංකාවේ සාදික්කා වගාව.
සාදික්කා පැළය නැගෙනහිර ඉන්දුනීසියාවේ බිහිවුන අතර, එය ලංකාවට හඳුන්වා දී ඇත්තේ 19 වෙනි සියවසේ මුල් භාගයේදීය.

සාදික්කා ගසෙහි පළිබෝධ හෝ රෝග කිසිවක් නැත. මෙය බීජ මඟින් ම බෝ කර ගන්නා නිසාත් අතුපතර විහිදෙන විශාල ශාකයක් වන නිසාත් වඩාත් ඉඩකඩ ඇතිව පැල කරගනු ලැබේ. මෙය මිශ්‍ර වගාවක් ලෙස තේ වතු වල ද වගා කල හැකිය.

සාදික්කා ගසෙන් කුළු බඩු වර්ග 2ක් ලබා ගත හැකිය. සාදික්කා ඇටයේ මදය හා ඇටය වටා දැලක් සේ ඇති රතු පැහැති වසාවාසි කොටසයි. මීට අමතරව එහි මාංශල ලෙල්ල මඟින් රසවත් කෑම බොහෝමයක් සාදා ගත හැක.

සාදික්කා ගසක ගෙඩි කීපයක්ම පැලුණු පසු හෝ පැලීමට ආසන්න වූ විට දී ගෙඩි නෙලා ගැනීමේ කාලය එලැඹේ. මෙහිදී සාදික්කා ඇටය ගෙඩියෙන් වෙන් කර ඇටය වටා ඇති රතු පැහැති වසාවාසිය ද වෙන් කර මෙම කොටස් 2ම වෙන් වෙන්ව අව්වේ වියළා ගත යුතුවේ.

පැසුණු සාදික්කා ඇටය තද දුඹුරු හෝ කළු වර්ණයක් ගනී. වසාවාසි කොටස තද රතු පැහැයක් ගනී. මේවා හොඳින් වියළා ගත් පසු බොහෝ කලක් ගබඩා කර තබා ගත හැක. සාදික්කා වල විශේෂත්වය නම් එකම ගසෙන් කුළුබඩු 2ක් ලබා දීමයි. එසේම හොදින් මේරූ මාංශල ලෙල්ලද විවිධ කෑම වර්ග සෑදීමට උපයෝගී කර ගනී.


ලෝකයේ හොඳ ඉල්ලුමක් ඇති කුළුබඩුවක් ලෙස සාදික්කා හැඳින්විය හැකිය. සාදික්කා දේශීය වෙදකමෙහි හා ආයුර්වේදයේ මෙන්ම වෙනත් ඖෂධ නිෂ්පාදන වලදී ද වැදගත් වේ. සාදික්කා බීජ මදය, දෙහි, ලුණු හෝ ජලය බිංදු කීපයක් සමඟ උරගා ගැනීමෙන් උදරාබාධ වලට ඖෂධයක් ලෙසින් පාවිච්චි කල හැක.

Friday, May 3, 2013

ශ්‍රී ලංකාවේ කරාබු නැටි වගාව.


ශ්‍රී ලංකාවේ කරාබු නැටි වගාව.
කරාබු නැටි පැලය පේරාදෙණිය උද්භිත උද්‍යානයේ රෝපණය කරන ලද එක් පැළෑටියකින් බෝ කරගෙන ඇත. එබැවින් එහි විවිධ වර්ග හෝ රෝග නැත.

මුහුදු මට්ටමේ සිට 1000m පමණ උස් වූ තෙත් සහිත නිවර්තන කලාපීය දේශගුණික කලාප වල කරාබු නැටි ඉතා සාරවත් ලෙස වැඩේ. තෙත් කාලයක් මෙන්ම වියළි කාලයක් තිබීම ද කරාබු නැටි වැවීමට ඉතා සුදුසු වේ. මුල් අවුරුදු 2-3 සෙවණේ වැඩුන ද, ඉන්පසු ආලෝකය ලැබීමට සැලසීම ඉතාම ප්‍රයෝජනවත්ය. විවිධ පස් වර්ග වල කරාබු ගස මනාව වැඩේ.

පැකට් කරන ලද කරාබු බීජ පැලවූ පසු 6-7 හෝ 8m ක් දෙපසටම පරතරය සිටින සේ සිටුවා ගත යුතුය. 80cm ක් පමණ ගැඹුරු වලක ගොවිපල පොහොර 50g ක් හා මතුපිට පස් පොලොව මට්ටමින් 5cm ක් පහලින් සිටින සේ පිරවිය යුතුය. සෑම වලකටම රොක් පොස්පේට් 200g ක් එක්කර, වර්ෂා කාලය ආරම්භයේදී පැලය සිටුවා ගත යුතුය. ඉන්පසු වල වැසෙන සේ කොළ රොඩු දමා වැසිය යුතුවේ.

කරාබු මල් පොහොට්ටු නෙලා ගැනීමට සුදුසුම කාලය නම් මල් පෙති රෝස පාටට හැරෙන අවධියයි. නැටිත් සමග මල් පොකුර නෙලා ගනු ලබයි. නෙලා ගත් මල් පොහොට්ටු දුඹුරු පැහැ වී හයිවන තුරු අව්වේ වියළා ගත යුතුවේ.

හොදින් වියළාගත් කරාබු නැටි දෙකට නමන විට කැඩී යයි. මේ අන්දමට වියළාගත් පසු ගෝනි වල අසුරා අවු.2ක් පමණ ගබඩා කර තබා ගත හැකිය.

පැණි රස කෑම, අච්චාරු, සෝස් වැනි ආහාර ද, රුචිය වඩා ආහාර රසවත් කිරීම සදහා කුඩු කර හෝ සම්පූර්ණයෙන්ම යොදා ගනී.

බෙහෙත් හැටියටද වායු ඝනයක් ලෙසද, ස්නායු ප්‍රාණවත් කරන්නක් ලෙස ද, සිගරට් සෑදීම, දත් බෙහෙත් සදහා ද විවිධ රටවලින් විශාල ඉල්ලුමක් ඇත. විශාල වෙළද වටිනාකමක් ඇති කරාබු නැටි මල් පොහොට්ටු, නැට්ට මෙන්ම කොළ ද උපයෝගී කරගෙන තෙල් හා විවිධ ද්‍රව්‍ය නිපදවන අපනයන භාණ්ඩයකි.